Sunday, December 12, 2010

මම සිහින මැව්වා ළඳේ...

කොල්ලුපිටිය මුහුද....


කොල්ලුපිටිය මුහුද...ඉමක් කොනක් නැති ආකසයයි, ලුණු රස මුහුදු සුළඟයි මම හැමදාම විඳින තැන.එක්වෙන ලෙසින් පෙනෙන, ළං වෙන ලෙසින් දැනෙන ක්ෂිතිජ ඉම දකින හැමවෙලාවෙම මට අපි ගැන සිහිවෙනවා...නුඹ ළං වෙනවා....හිනාවන් ගේනවා.මගේ හිත නිවනවා..දහක් හීන මම දකිනවා...අඳුනන්නෙවත් නැති ගාණකට කාටත් හොරෙන් නුඹ සැඟවෙනවා...අලුත් බලාපොරොත්තු ගොන්නක් හිතේ දරාගෙන මතක ගින්නේ මම දැවෙනවා..."මට තවම ආදරේ ද? මං ගැන තවමත් හිතනව ද?" මෙහෙම දේවල් මගේ හිත අසනවා....

Saturday, November 20, 2010

සතුට හා දුක


සතුට හා දුක...ඉපදෙන හැම ගැහැණියෙක්ම, මිනිහෙක්ම විතරක් නෙමෙයි, අපා දෙපා හැම සත්වයෙකුටම පොදු ධර්මතාවයන් දෙකක්...

සතුට...තමන් වඩාත්ම ආදරය කරන, ආස කරන කෙනෙක්,වස්තුවක්,ක්‍රියාවක් උරුම වූ විට,හිතට දැනෙන හැඟීම.සතුට ගැන මීට වඩා විග්‍රහයන් තිබේවි.නමුත් මට දැනෙන විදියට ඕනෑම පුද්ගලයෙකුගෙන් "සතුට" ගැන අහුවොත් හිතට එන පළමු සිතුවිල්ල මෙය වෙන්න පුළුවන්...

සතුට බදා ගන්නවා, දුක බෙදා ගන්නවා කියලා මං අහලා තියෙනවා.හිනාවක් දකින්න, හිනාවෙන්න හැමදෙනාම ආසයි.කවුරුත් කඳුළින් ඇස් පුරෝගෙන ඉන්නවා දකින්න කිසි කෙනෙක් කැමති නෑ.

ඒ වුණ්ත්, හිනාවෙන කෙනෙක්, කඳුළු ගලන දෙසක් පිහදාන්න එක මොහොතක් වැය කරනවා නම් කොච්චර ලස්සනද?

තමන්ගෙ කඳුළු හංගගෙන තවත් අයෙකුගේ වේදනාවන් එක් වෙලා බෙදා ගන්න පුළුවන් මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා කියලා මම දන්නවා.

මං හිතන විඳියට, ඒ ජීවිතේ ගොඬක් වේදනාවන් වින්ඳ, අත්දැකීම් ඇති මිනිස්සු...

මොකද ජීවිතේ දුක වින්ද කෙනෙක් දන්නවා, තවත් අයෙකුට ඒ දුක දැනෙන හැටි...එහෙම කෙනෙකුට පුළුල් අවබොධයක් තියෙනවා...

Saturday, October 30, 2010

කොල්ලුපිටිය මුහුදු තීරයේදී....


කොල්ලුපිටිය මුහුදු තීරය හැමදාම මගේ නෙතු ගැටෙනවා.දවසක වැඩ අහවරව, නිවස බලා යනතුරු ගීතයක් රසවිඳිමින් මොහොතක් කල්මරන තාවකාලික ගිමන්හලක්...

හැන්ඳෑවට රත්තරං පාටට දිලිහෙමින් මුහුදෙ ගිලිල යන ඉර දිහා බලන් ඉන්න කොට, ඇඟ පුරා දැවටෙන මුහුදු සුළඟේ සුවය දැනෙන කොට, සිත නිවී යනවා... ඇත්ත...

හිත පුරා දැනෙන ඒ නිහඬබව අතර දහක් සිතුවිළි දිවයනවා.කරදරකාර පරිසරයෙන් මිඳිලා, මේ වගේ නිහඬ බවක තනිවෙන්න මං හැමදාම ආසා කළා.කොච්චරක් වෙලා ගත කළත් ඇති නොවෙන මේ මුහුදු තීරයෙන් තවත් සුළු මොහොතකින් මං සමු ගන්න ඕනේ...

නිවස බලා ගෙන යන යකඩ යකා ඈතින් එනවා...අත් වැල් පටලාගෙන ඉන්න සිනා සලන පෙම්වතින්, පෙම්වතියන් මැද්දෙන් මං ඇවිදගෙන යනවා...මොහොතකට හද මහා ලෝභකමකින් බරවෙනවා...මේ අවට දඟපාන නිහඬ බවට මං හැමදාම ආදරේ කළා.ඒත් මේ "පාළුවට" මං වයිරයි...

නිහඬබව, පාළුව,... එකම පරාසයක දිව යන හැඟීම් දෙකක් වුණාට,හිතට දැනෙන විදිය දෙවිදියක්...

Sunday, October 24, 2010

බෝල ලොසින්ජර


"බෝල ලොසින්ජර දිව රතු කෙරුවට, බඩගින්දර නැහැ නිවා දමන්නේ,කීරි ගැගෙන කළවාරු නැති දෙපා කොහොමද නුඹ දිග ගමන දුවන්නේ...."

බුලත්සිංහල මහත්මියගේ ගීතයක්...නුඹේ ආදරය ගැනත් මට කියන්නෙ තියෙනේ මේ ටිකම නිසයි මං මෙහෙම ලියන්න හිතුවේ.

"බෝල ලොසින්ජර දිව රතු කෙරුවට, බඩගින්දර නැහැ නිවා දමන්නේ". නේද? අනන්තවත් ස්ත්‍රී පරාණ, සොඳුරු යුවතියන් හිටියට, අත වැනුවට...නුඹේ නිල් ඇස් දෙකට මං පෙම් බඳින එකම එක හේතුව මේකයි කෙල්ලේ...

අහිමිවීමක වේදනාවන්....


එදා මෙදා තුර මගේ දෙසවනත වැකුණු දහක් කවි ගීත අතරින්,මා වඩාත්ම හැඟුම්බර කළ ගීත ද්විත්වයක් මේ දිනවල මගේ සිත තුළ නිරන්තරයෙන් ම නිම්නාද දෙනවා...

දිවුල්ගනේ මහත්මයාගේ "නෙතට උළෙලක්" හා පණ්ඩිත් අමරදේවයන්ගේ "ආදර හැඟුම්". පරාජිත පෙම්වතෙකු තම පෙම්බරිය තමාගෙන් මිඳී වෙනෙකුගේ තුරුළෙහි සැනැහෙන හැටි සිහිව පීඩා විඳින අයුරුත්, මංගල රැයෙහි තම පෙම්බරා ළඟ නොමැතිව සොවින් තැවෙනා තම මනාලිය විඳිනා පීඩාව දකිමින් අපහසුතාවයට පත් වන කුළුඳුල් පෙම්වතෙකුගේ සිතුම් සමුදායත් මෙම ගීතයන් ද්විත්වය තුළ මනා ලෙස ගැබ්ව තිබෙනවා...

පෙම්වන්ත සිතකට මීටත් වඩා සංවේදී ඉසව්වක්, මගේ සිතුවිළි සීමාවට නො ඒ.

Sunday, October 10, 2010

රූපවාහිනිය...


සිහින විකුණන
මනැස මොටලන
බොළඳ අදහස්
වපුරුවාළන කෙත...

Sunday, October 3, 2010

අනාගතය

හඹාගෙන යන සිහින
ඉටු වීම/ නැතිවීම
ඇස් පනා පිට පේන තැන...

Saturday, October 2, 2010

අම්මා


නොදන්නවා නොවෙයි
නුඹේ අපරිමිත සෙනෙහෙ ගැන මම
නොදන්නවා නෙමෙයි
සිතේ ඉතිරෙන ප්‍රාර්ථනා ගැන...

ඒ වගෙම ආදරෙයි මමත්,
දන්නවද අම්මේ,
ගොඩක් හිතනවා මමත්,
නුඹ ගැන, නුඹේ සතුට ගැන...
ඒත් මේ,
මං නුඹට ආදරය කරන විදිය වෙන්නැති,
නිහඬව,
ඒත් ගොඬක් ගැඹුරින්...

Friday, October 1, 2010

රණ විරුවා හා "හමුදාකාරයා"


රණ විරුවන්
විය එදා ඔවුන්...
බිඳ හෙළා රුපු තෙද...

ගෙවී දින,සති, මාස
"හමුදාකාරයා" වී දැන් නැවත,
ගසක්, හංදියක් ගානේ,
අමතකව පෑ විකුම්...

කැවුම් කිරි බත් රැගෙන
ආසිරි ගී ගැයූ
"ලක්බිමේ" ජනතාව
අහක බලමින් යතී,
නොදුටුව ලෙසින...

පැතුමක්!!!


දෙවියනේ!!!
වැහැපන් අලුත් වැස්සක්...
සේදී යන්න,
මේ තනිකම...

Saturday, September 25, 2010

පිච්ච මල් කුමරිය මගේ...


හද පුරා සුවඳ දෙන
නුඹේ ආදරයේ
පුරා සඳ මෙන් එළිය අරගෙන
පායන්න මගෙ ජීවිතේ...

සිනහ මල් මිට අරන් ඇවිඳින්
මගේ ජීවිතයේ
සනසනා සිත නුඹයි පෙම්බර
මගේ සිත් අහසේ...

පැතුම් නුබ ගබ පිපී දිදුලන
සොඳුරු තරු කැකුළේ
එළිය ගෙනෙනා, සුවඳ ගෙනෙනා
පිච්ච මල් කුමරිය මගේ...

පමා වී පසු තැවීම....


යකඩ විලංගුවට මැදි වුණු
මගේ දෑතින්
වඳින්නට හැකි නම්...
අම්මේ,...
වඳිමි දෙපා යුග අල්ලා...
නැවත අරඹමි,
අයාලේ ගිය ජීවිතය
නුඹේ ඔවදන් අසා...

බල්ලා...


සුරතලයට ඇති කළද
ලොම් හැළුණු පසු
පා පහර දෙවා
එළවන සතා...
බල්ලා...

වෙනස...



සිය මසට
මිල නියම කර
ආත්මය විකුණනා
ගැහැණියට කියන නම?...

සිය රුහිරු
කිරට කර
තම පුතුට දෙන
ගැහැණියට කියන නම?...

දුක් ඉවස
හිමි සඳට
පෙම බෙදන
ගැහැණියට කියන නම?...

Friday, September 24, 2010

ඇවිදින සැකිළ්ලක් දුටුවෙමි...


ඉළිප්පුණු දෑසක
හිමිකාරයෙකි ඔහු,
මොනවදෝ මුමුණමින්
ඇවිදිමින්, විසිවෙමින්
අමුතුම ගමනකින්...

ඇවිදින සැකිළ්ලක් දුටුවෙමි...
දින පුරා වෙහෙස වී
ලබන ලද සොච්චමින්
ලබ ගත් රට බීමකින්,
සිහිය සිඳ ගත්
අපේ කාලයේ
තවත් එක අමනයෙකි ඔහු...

ඇවිදින සැකිළ්ලක් දුටුවෙමි...


ඉළිප්පුණු දෑසක
හිමිකාරයෙකි ඔහු,
මොනවදෝ මුමුණමින්
ඇවිදිමින්, විසිවෙමින්
අමුතුම ගමනකින්...

ඇවිදින සැකිළ්ලක් දුටුවෙමි...
දින පුරා වෙහෙස වී
ලබන ලද සොච්චමින්
ලබ ගත් රට බීමකින්,
සිහිය සිඳ ගත්
අපේ කාලයේ
තවත් එක අමනයෙකි ඔහු...

මගේ තාත්තා...


වැඩි කතාවක් නෑ,
ඇහෙන්නේ නෑ මට
ආදරෙන් කතා කරනවා...
මට හිතෙන්නේ,
නුඹ ආදරේ නෑ කියලයි...

ඇස් දිලිසෙනවා,
මං දිනපුවම...
ඔය මූණ මැලවෙනවා,
මට වැරදුණ හැම විටම...

වචනයෙන් නොකිව්වට,
ඇස් පනාපිට මං දකිනවා
නුඹෙ ආදරය...
හිත තද බව පෙන්නුවට,
මට දැනෙනවා නුඹෙ ආදරේ...

නුග රුකක් වගේ
සෙවණයි මගේ තාත්තේ නුඹ මට...

මට තවමත් තේරුම් ගන්න බැරි දෙයක්...


ඉරයි හඳයි
එකම අහසෙ පායනවා,
මං දැකලා තියෙනවා...
අව්ව වැස්ස
එකට තියෙනවත්
මං දැකලා තියෙනවා...
අපි දෙන්න ජීවත් වෙන මේ ලෝකෙම,
ඒ ලස්සන දිහා බලලා
ඒ ලස්සන විඳිනවත් මං දැකලා තියෙනවා...ඒත් ඔයයි මමයි
ළං වෙන එකට විතරක්
වෙනස්කම් කරනවා...
මට කවදාවත් මේක තේරුණේ නෑ.
ඉරටයි හඳටයි එකතු වෙලා
එළිය දෙන්න පුළුවන් නම්,
අව්වටයි වැස්සටයි එකතු වෙලා
ලස්සන දෙදුන්නක් දෙන්න පුළුවන් නම්,
ඒ ලස්සන විඳින ලෝකෙට බැරි ඇයි?
ඔයයි මමයි එකතු වෙලා හදන
චුටි පැටව් දිහා ආදරෙන් බලන්න...

අම්මේ...ඇයි මට මෙහෙම හිතෙන්නේ...


හැමදාම පන්සලට ගියහම,
මහා ලොකු නිදහසක්
මට දැනෙනවා අම්මේ...
කහ සිවුරක් පොරව ගෙන
ජීවිතේ තේරුම් ගන්න
මගෙ හිතට ආසයි...

සිඳී බිඳුණු ජීවිත,
විනාශ වෙන ජාතිය,
පණ ගසා ගොඩ ගන්න
මගෙ හිතට ආසයි අම්මේ...