Saturday, October 30, 2010

කොල්ලුපිටිය මුහුදු තීරයේදී....


කොල්ලුපිටිය මුහුදු තීරය හැමදාම මගේ නෙතු ගැටෙනවා.දවසක වැඩ අහවරව, නිවස බලා යනතුරු ගීතයක් රසවිඳිමින් මොහොතක් කල්මරන තාවකාලික ගිමන්හලක්...

හැන්ඳෑවට රත්තරං පාටට දිලිහෙමින් මුහුදෙ ගිලිල යන ඉර දිහා බලන් ඉන්න කොට, ඇඟ පුරා දැවටෙන මුහුදු සුළඟේ සුවය දැනෙන කොට, සිත නිවී යනවා... ඇත්ත...

හිත පුරා දැනෙන ඒ නිහඬබව අතර දහක් සිතුවිළි දිවයනවා.කරදරකාර පරිසරයෙන් මිඳිලා, මේ වගේ නිහඬ බවක තනිවෙන්න මං හැමදාම ආසා කළා.කොච්චරක් වෙලා ගත කළත් ඇති නොවෙන මේ මුහුදු තීරයෙන් තවත් සුළු මොහොතකින් මං සමු ගන්න ඕනේ...

නිවස බලා ගෙන යන යකඩ යකා ඈතින් එනවා...අත් වැල් පටලාගෙන ඉන්න සිනා සලන පෙම්වතින්, පෙම්වතියන් මැද්දෙන් මං ඇවිදගෙන යනවා...මොහොතකට හද මහා ලෝභකමකින් බරවෙනවා...මේ අවට දඟපාන නිහඬ බවට මං හැමදාම ආදරේ කළා.ඒත් මේ "පාළුවට" මං වයිරයි...

නිහඬබව, පාළුව,... එකම පරාසයක දිව යන හැඟීම් දෙකක් වුණාට,හිතට දැනෙන විදිය දෙවිදියක්...

Sunday, October 24, 2010

බෝල ලොසින්ජර


"බෝල ලොසින්ජර දිව රතු කෙරුවට, බඩගින්දර නැහැ නිවා දමන්නේ,කීරි ගැගෙන කළවාරු නැති දෙපා කොහොමද නුඹ දිග ගමන දුවන්නේ...."

බුලත්සිංහල මහත්මියගේ ගීතයක්...නුඹේ ආදරය ගැනත් මට කියන්නෙ තියෙනේ මේ ටිකම නිසයි මං මෙහෙම ලියන්න හිතුවේ.

"බෝල ලොසින්ජර දිව රතු කෙරුවට, බඩගින්දර නැහැ නිවා දමන්නේ". නේද? අනන්තවත් ස්ත්‍රී පරාණ, සොඳුරු යුවතියන් හිටියට, අත වැනුවට...නුඹේ නිල් ඇස් දෙකට මං පෙම් බඳින එකම එක හේතුව මේකයි කෙල්ලේ...

අහිමිවීමක වේදනාවන්....


එදා මෙදා තුර මගේ දෙසවනත වැකුණු දහක් කවි ගීත අතරින්,මා වඩාත්ම හැඟුම්බර කළ ගීත ද්විත්වයක් මේ දිනවල මගේ සිත තුළ නිරන්තරයෙන් ම නිම්නාද දෙනවා...

දිවුල්ගනේ මහත්මයාගේ "නෙතට උළෙලක්" හා පණ්ඩිත් අමරදේවයන්ගේ "ආදර හැඟුම්". පරාජිත පෙම්වතෙකු තම පෙම්බරිය තමාගෙන් මිඳී වෙනෙකුගේ තුරුළෙහි සැනැහෙන හැටි සිහිව පීඩා විඳින අයුරුත්, මංගල රැයෙහි තම පෙම්බරා ළඟ නොමැතිව සොවින් තැවෙනා තම මනාලිය විඳිනා පීඩාව දකිමින් අපහසුතාවයට පත් වන කුළුඳුල් පෙම්වතෙකුගේ සිතුම් සමුදායත් මෙම ගීතයන් ද්විත්වය තුළ මනා ලෙස ගැබ්ව තිබෙනවා...

පෙම්වන්ත සිතකට මීටත් වඩා සංවේදී ඉසව්වක්, මගේ සිතුවිළි සීමාවට නො ඒ.