Friday, January 27, 2012

ළඟ වුන්නා නම්...


ළඟ වුන්නා නම්...

මං ආදරෙන් බලා ගන්නවා එහෙනම්.තනියට ළඟ ඉඳන් ඔයාට අහන් ඉන්න දේවල් මං ඔහේ කියවන්නම්.අසනීපයෙන් ඔයා වැතිරගෙන ඉන්න ඇඳ අයිනට වෙලා වාඩිවෙලා ඔයාගෙ ඇස් සනීපයට පියවෙනකම් මං දන්නවා මං ඔයාගේ හිස අතගාවී.

වේදනාවට නෙතුවලින් පනින්නට හදන කඳුළු බිංඳුවක් දෙකක් එළියට එන්නටත් කළින්ම මං පිහිදලා දාවී.මං වයිරයි ඔය කඳුළු වලට...මං වයිරයි ඔය කඳුළු වලට...

දන්නවද, ඒ වුණත් මං පව්කාරයි.කඳුළු පුරොගෙන ඔෆීසියෙ වැඩ මොහොතකට නවත්තලා මේ සටහන ලියන්න හිතුවේ ඒකයි...මේ කඳුළු බින්ඳු මං දන්නවා මං තරම් අසරණයි.කඳුළු හුරු නැති මගෙ ඇස් අද හරිම දඟකාරයි, මුරණ්ඩුයි...

දිව්යඩය ලෝකයක් තරම් ලස්සනට නුඹේ ජීවිතය හැඩ වැඩ කරන්නට මතක ඇති කාලයක ඉඳගෙන හීන මවපු මට, නුඹට මේ මොහොතේ බත් කටක් අනලා කවන්නට බැරි එක ගැන මං මටම වයිරයි.

අම්මා ආදරෙන් ඔතලා දුන්නු බත් පත කාටත් හොරෙන්ම කුණු බක්කියට දාලා "කෑවද මචං?" කියලා ළන්නග වුන්නු සඟයා හැමදාම පුරුද්දට අහන පැනයට "ඔව් බං" කියලා සරලව උත්තර දුන්නේ නුඹ කෑමක් කටක් නොමැතිව ඉන්න මොහොතේ වතුර උගුරක් බොන්න තරමටවත් මගේ හිත නොනැමුණු හින්දයි.දන්නවද, හවස බොන්න ගත්ත තේ උගුරෙ රස දැනුනු මොහොතෙම මට හීල්ලිලා ගියා.සමහරවිට මං කල්පනා කරනවා වැඩි ඇති.මට කමක් නෑ,මට වැදගත් එකම දෙය නුඹ ඉක්මනින් සුව වෙනවා දකින එක විතරයි.

නුඹ ඔහේ,මම මෙහේ...මම දන්නවා නුඹ පරිස්සම්...ඒත් ඒ දෙය නෙතින් දැක හිතින් සැනසෙනාතුරු මගෙ හිතට නිවනක් නෑ....

නුඹට තෙරුවන් සරණයි...දෙවියන්ගෙ පිහිටයි..

No comments:

Post a Comment